"කල්‍යාණි විභූෂණ" සම්මානයෙන් බුහුමන් ලබන්නෝ
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා
රටම බබළවාලන අසහාය දාර්ශනිකයෙකු, මහා චින්තකයෙකු, පඬිවරයෙකු, බහුශ්‍රැතයෙකු වන මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් 1950 සැප්තැම්බර් මස මාතර නාවිමන ග්‍රාමයේදී උපත ලැබීය. ගාල්ලේ මහින්දයෙන් අභිමාන වූත් වාර්තා තබමින් 1969 දී කැලණි සරසවියට ඇතුළත් වූ මෙතුමා අධ්‍යාපනයේ ඉහළම තලය සේ සැලකෙන ආචාර්ය උපාධිය ලැබ, විදෙස් සරසවිද තරණය කොට 1991 දී මහාචාර්ය පදවිය ලැබීය. කිරිබත්ගොඩ, කැලණි තරුණ බෞද්ධ සමිතියේ භාරකාර මණ්ඩලයේ බලකණුවක් වූ මෙතුමාට එම සමිතියෙන් 2024 බක්මහේදී “කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරන ලදී.
පී.ඩබ්.ඩී.ජෝතිපාල මහතා
පතිරණවසම් දොන් ජෝතිපාල මහතා හබරාදූව බෞද්ධ චිත්‍ර පාඨශාලාවේදී මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා දුම්රිය දෙපාර්තමේන්තුව, රජයේ සැපයීම් දෙපාර්තමේන්තුව සහ රජයේ වෙඩි බෙහෙත් ගබඩාවේ සේවය කොට විශ්‍රාම ලැබුවේය. මෙතුමා 1968 කිරිබත්ගොඩ, නාමල් පෙදෙසට පදිංචියට පැමිණි පසු ප්‍රදේශයේ ජාතික, ආගමික කටයුතුවල කැපී පෙනෙන චරිතය බවට පත්වුණි. කිරිබත්ගොඩ, කැලණි තරුණ බෞද්ධ සමිතියේ මහර ළමා නිවාසය පවත්වා ගෙන යාමට ධනය, ශ්‍රමය කැපකළ පී.ඩබ්.ඩී.ජෝතිපාල මහතා එහි විධායක සභිකයෙකු වී පසුව උප සභාපතිවරයෙකු විය. මේ උදාරතර සමාජ සේවකයාගේ සේවය අගයමින් එතුමාට කැලණි තරුණ බෞද්ධ සංගමය විසින් “කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරනු ලැබේ.
ඒ.අබේසිරිවර්ධන මහතා
සම්මානිත කවියෙකු හා ලේඛකයෙකු ලෙස රටම හඳුනන බඳගිරියේ අබේසිරිවර්ධන මහතා උපන්නේ 1943 හම්බන්තොට ගොන්නොරුව නමැති ග්රාමයේය. ජාතික පේෂ කර්ම සංස්ථාව, රෙදි නිෂ්පාදන ද්‍රව්‍ය නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය වැනි විවිධ ආයතනවල සේවය කළ මෙතුමා පාසල් අවධියේ සිටම සාහිත්‍යයට කලාවට ලැදි නිර්මාණශීලී පුද්ගලයෙකි. කිවිපති, කලාභූෂණ, කල්‍යාණ කීර්ති ශ්‍රී, ලංකා මිත්‍ර ගෞරව සම්මානය, රුහුණු කලා පවුලේ රුහුණු පහන් සිළු සම්මානය, ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මානය, ශ්‍රී රෝහණ පද්‍ය ප්‍රදීප සම්මානය ආදී සම්මානවලින් පිදුම් ලැබූ මෙතුමා කැලණි ප්‍රෙද්ශයේ සමාජ සේවකයෙකු හා බෞද්ධ නායකයෙකු ලෙස ප්රකටය. කැලණි සංස්කෘතික බලමණ්ඩලයේ ක්‍රියාකාරී සභිකයෙකු වූ මෙතුමාකිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සංගමයේද යාවජීව සාමාජික, විධායක සභික, සම්පාදක හා උප ලේකම් හා උප සභාපති ආදී තනතුරු දරා ඇත. කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය විසින්”කල්‍යාණි විභූෂණ “ගෞරව සම්මානය2024 අප්‍රේල් 28 වෙනි දිනමෙයින් ප්රදානය කරනු ලැබේ.
මාතෘදාස ලියනගේ මහතා
අප සැමගේ සම්භාවනාවට ලක්වන මාකොළ දකුණ පදිංචි මාතෘදාස ලියනගේ මහතාද ප්රකාශනයෙහි, දේශනයෙහි, පැනවීමෙහි, පිහිටුවීමෙහි විවරණයෙහි, විභජනයෙහි මෙන්ම කරුණු මැනවින් පැහැදිලි කිරීමෙහිද සමත්කම් පෙන්වා ධර්ම ශාස්ත්‍රයටත්, සමාජයටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත්, අගනා මෙහෙවරක් කර ඇති ප්‍රයෝජනවත් වූත්, සාම්ප්‍රදායික වූත් නම්යවූත්, දැන උගත්කමින් හෙබි විද්වතෙකි. එසේම ඵලදායක, ප්රබුද්ධ හා සක්‍රීය සමාජ සේවකයෙකි. අපේකම හොඳින්ම දිරවාගත් ගුරුවරයෙකි. බොහෝ අත්දැකීම් ඇති විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි.
ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා
තනි පුද්ගලයකු විසින් 50 වසරක් තිස්සේ ලියා නිමකළ ලංකාවේ විශාලතම ශබ්ද කෝෂය වන “මහා සිංහල ශබ්දකෝෂයේ” සංස්කාරක වරයා ඔහුය. එයට අමතරව පාරිභාෂික ශබ්දකෝෂය, ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය වැනි ශබ්දකෝෂ කීපයක් සම්පාදන කිරීමෙන් වාර්තා පිට වාර්තා තැබුවේ ඔහුය. ඔහු කිරිබත්ගොඩ, මාකොල පදිංචි ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගයන්ය. එතුමාගේ නමේ මුලට මෙසේ සඳහන්ව තිබේ. බී.එස්.සී.ලංකා, පී.එච්.ඩී, කැලණිය, හෙළ විද්‍යාපති, ශ්‍රේෂාධිකරණයේ අධිනීතීඥ, කැලණි විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෙතුමා සිංහල විශ්වකෝෂයේ හිටපු සංස්කාරකවරයාය. සිංහල බෞද්ධයා පත්‍රයේ කතෘවරයෙකි.
වෛද්‍ය ඩබ්.ඩී.චන්ද්‍රකීර්ති මහතා (යාවජීව සාමාජික)
ඩබ්.ඩී.චන්ද්‍රකීර්ති මහතා කිරිබත්ගොඩ රෝහලේ මුල්ම යුගයේ සේවය කළ කීර්තිමත් වෛද්‍යවරයෙකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වූ මෙතුමා එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සංගමයේ ද සාමාජිකයෙකි. ඔහු කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතියේ සාමාජිකත්වය ලබාගත්තේ 1966 පෙබරවාරි 22 දාය. කැලණිය ප්‍රදේශයේ ජනතාවට මෙන්ම, සමිති සංවිධානවලටද විශාල සේවයක් කළ මේ කීර්තිමත් වෛද්‍යතුමාට කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය විසින් “කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරන ලදී.
කේ.ඒ.උපාලි ධර්මසිරි පීරිස් මහතා
පුරා වසර 50 කට වැඩි කාලයක් තිස්සේ කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සංගමයේ පෙරගමන් කරුවෙකු වශයෙන් විශාල සේවයක් කළ විධායක සභික, උපසභාපති සහ ස්ථාවර වත්කම් භාරකාර මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කරන ලද සේවයට උපහාර වශයෙන් සාමවිනිසුරු කේ.ඒ.උපාලි ධර්මසිරි පීරිස් මැතිඳුන්ට “කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරනු ලැබේ.
එස්.මුණසිංහ මහතා
1934 උපත ලැබූ එස්.මුණසිංහ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්පමුණ පැසැලෙනි. ඉන්පසු පාලිටුව ගුණරතන විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබුවේය. 1958 දී මුණසිංහ මහතා කිරිබත්ගොඩට පැමිණෙන විට ජිනදාස පතිනායක මහතා මෙහි බෞද්ධ සමිතියක් පිහිටුවීමේ කටයුතු කරමින් සිටි බව ඔහු ප්‍රකාශ කරයි. එතැන් පටන් කිරිබත්ගොඩ, කැලණි තරුණ බෞද්ධ සමිතියට සම්බන්ධ වූ මෙතුමා යාවජීව, සාමාජික, සම්පාදක, විධායක සභික, උප සභාපති, සභාපති ආදී තනතුරුවලට පත්ව දැනට සමිතියේ එකම ගිහි අනුශාසකවරයා ලෙසට කටයුතු කරයි. කැලණි ප්‍රදේශයේ මහා දානපතියෙකු ලෙස කීර්ති නාමයක් දිනූ සාම විනිසුරු ඇස්.මුණසිංහ මහතා කිරිබත්ගොඩ සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රථම සභාපතිවරයා වන්නේය.
එච්.ඩී.රණවක මහතා
හෙන්රි ඩයස් රණවක මහතා 1939 දී මාතර උඩුකාවේදී ඉපදුණේය. තෙලිජ්ජවිල මධ්‍යම මහා විද්‍යාලයට ඇතුලත්ව ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත්විය. වානිජ විද්‍යාව ගණන් තැබීම විෂයන්ට ගෞරව සම්මාන ලැබීය. අධ්‍යාපනයෙන් පසු ජාතික නිවාස දෙපාර්තමේන්තුවට බැඳුණ රණවක මහතා පසුව ගෙවල් කුලී මණ්ඩල ලේකම්වරයා විය. කැලණිය තරුණ බෞද්ධ සමිතියේ යාවජීව සාමාජික, විධායක සභික, උප සභාපති, ආගමික අංශයේ සම්පාදක සහ භාණ්ඩාගාරික වැනි තනතුරු ලබමින් සමිතියටද ප්‍රදේශයටද කළ අනූපම සේවය අඟය කරමින් කළ සේවයට උපහාර වශයෙන් එතුමාට කැලණි තරුණ බෞද්ධ සමිතිය විසින්”කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරනු ලැබේ.
එම්.බී.රත්නායක මහතා
1962 දී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයෙන් කවිරාජ් සිද්ධායුර්වේදඥ උපාධිය හිමිකර ගනිමින් 1979 වර්ෂයේදී වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත උපාධිය ද ලබා ගනිමින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින්, ආයුර්වේද අධ්‍යාපනයේ අභිවෘද්ධිය උදෙසා ද කැපව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු, වැඩබලන විදුහල්පතිවරයෙකු මෙන්ම එම විද්‍යාලයේ පාලක සභාවේ සභාපති පදවිය ද දරමින් විපුල මෙහෙවරක නියැලෙමින් ආයුර්වේදය හා දේශීය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධව වටිනා ග්රන්ථ රැසක් සමාජයට දායාද කොට විශේෂ ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබූ “ගම්පහ සිද්ධායුර්වේද වෙදගෙදර” නම් වූ වෛද්‍ය ආයතනයේ අධිපති වෛදයාචාර්ය වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත එම්.බී.රත්නායක වෙදැඳුරුතුමණ් වෙත කැලණි තරුණ බෞද්ධ සමිතිය විසින්”කල්‍යාණි විභූෂණ ” ගෞරව සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින මෙයින් ප්රදානය කරනු ලැබේ.
විල්මන් රුද්රිගූ මහතා
1934 අප්‍රේල් මස මාකොලදී උපන් විල්මන් රුද්රිගූ මහතා කිරිබත්ගොඩ මුල්ම යුගයේ ව්‍යාපාරිකයෙකු ලෙස හැඳින්විය හැකිය. කිරිබත්ගොඩ ජයසිරි හෝටලය ගැන නොදන්නා කෙනෙකු සියනෑ කොරලයේ නැති තරම්ය. 1957 දී ඔහු මෙම හෝටලය පටන් ගත්තේ රු.60.00 ක මාසික කුලියටය. ජයසිරි යන නම දැම්මේ ජය + ශ්‍රී යන හිතට ආ අදහසක් අනුවයි. සැබවින්ම අද ඔහුට ජයවී තිබේ. විල්මන් රුද්රිගූ මහතාට කිරිබත්ගොඩ නගරයෙන් කඩ හතරක්ම අයිති වී තිබේ. කිරිබත්ගොඩ කැලණි තරුණ බෞද්ධ සමිතිය 1958 පටන් ගන්නා කාලයේදී එය තැනීමට සිමෙන්ති සපයා දීමෙන් කොටස් කරුවෙකු වූ මොහු මුල්ම සාමාජිකයන්ගෙන් කෙනෙකි.
හබරගමුවගේ දොන් විජයසිරි පෙරේරා මහතා
මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු, ගත්කතුවරයෙකු මෙන්ම ආදායම් පාලක නිලධාරී(DRO) ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, අතිරේක ලේකම් වැනි තනතුරු දැරූ හබරගමුවගේ දොන් විජයසිරි පෙරේරා මහතා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු විය. අලෙවි සංවර්ධන කොමසාරිස්, අධ්‍යක්ෂක ජෙනරාල් වැනි තනතුරු දැරූ මෙතුමා ප්‍රමිති කාර්යංෂයක් ඇති කිරීමට රජයට යෝජනා කළේ ය. (2023)කැලණි තරුණ බෞද්ධ සමිතියේ සභාපති ධූරය දැරුවේය. එතුමා හට කැලණි තරුණ බෞද්ධ සමිතිය විසින් කල්‍යාණ විභූෂණ සම්මානය 2024 අප්‍රේල් 28 වෙනි දින ප්රදානය කරන ලද වගයි.